Friday 8 May 2020

එදා දකුණ හෙල්ලූ උක්කුවා අද මුළු රට ම හොල්ලයි....( වැඩිදුර තොරතුරු සඳහා රසික පත්තරේ බලන්න)


       1975 වසරේ  දී  ආරම්භ කෙරුණු ලංකාවේ දෙවන චිත්‍රකතා ප්‍රකාශනය වූ සිත්තර අතැර ගිය කැමිලස් පෙරේරා ප්‍රමුඛ ශිල්පීන් පිරිසක් 1986 වසරේ දී සත්සිරි නමින් නව චිත්‍රකතා ප්‍රකාශනයක් අරඹමින් එය ජනප්‍රියත්වයේ ඉහළට ම නැංවීය. එය කොතරම් ජනප්‍රිය සේ ම ආදායම් උපදවන මාර්ගයක් වූයේ ද යන්න කැමිලස් මහතා ප්‍රමුඛ එම කණ්ඩායම 1987 වසරේ දී ම රසික නමින් තවත් නව චිත්‍රකතා පත්තරයක් එළිදැක්වීමෙන් පෙනී යයි. 
       එහි ප්‍රධාන සංස්කාරක වශයෙන් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා කටයුතු කළ අතර කැමිලස්ගේ දොංසේතං කාටුනය ඒ හා බන්දවා කැමිලස්ගේ දොංසේතං සමග රසික ලෙසින් පත්‍රයට නම තැබිණි. එය අමුතුම මාකටිං එකකි. කැමිලස්ගේ ගජමැන් සමග සත්සිරි , කැමිලස්ගේ දොංසේතං සමග රසික කී විට එම කාටුන් චරිත නිරායාසයෙන් ම කියැවී පාඨක මනසට ඇතුළු වේ.



      කැමිල්ස් නිවසේ වාසනාවන්තයා ලෙස සැලකුණු ගුණපාල ජයලත් මහතා සත්සිරි සේම රසික ද මුල් කලාපයේ කවරය සිය චිත්‍රයකින් සැරසී ය. ආනන්ද දිසානායක, රෆීක් ඩීන්, මනෝජ් ප්‍රේමරත්න,  ශ්‍රීලාල් නානායක්කාර, පියසිරි උභයරත්න, ආරියසිරි කොඩිතුවක්කු, ධනපාල ගාල්ලගේ වැනි ප්‍රවීනයන්ගේ කතා රැසක් සමගින් ආරම්භ වූ රසික වසර දහයකට ආසන්න කාලයක් ප්‍රකාශයට පත් වූ අතර කුමුුදු තාරක, අරවින්ද සේනාධීර, වසන්ත ශ්‍රීනාත් , ඇන්ටන් තානාපති, උදය ගමාච්චි, ඔගස්ටින් ප්‍රනාන්දු වැනි දක්ෂ චිත්‍රශිල්පීන් රැසක් නොබෝකලකින් ම ඒ හා එකතු විය. 



         ආරම්භයේ දී බන්දුල හරිශ්වන්ද්‍ර මහතා විසින් , විජය රජු ලංකාවට පැමිණිමට පෙර කල පසුබිම් කර ගනිමින් සිංහල දේශය නමින් වර්ණවත් කතාවක් ගෙන ආවේ ය. එතුමාගේ බිරිඳ වන කුසුම් මංගලිකා මහත්මිය විසින් ද භුරිදත්ත නමින් කතාවක් ඉදිරිපත් කරන ලදි. රෆීක් ඩීන්ගේ මෙක්සිකන් චාලි,ශ්‍රිලාල් නානායක්කාරගේ මානෙල් අසපුව , ආනන්ද දිසානායකගේ සයුරී ආරම්භයේ දී පළවූ සිත්ගත් කතා  කිහිපයකි. ගුණපාල ජයලත් මහතා සිත්තරේ දී අතරමග නතර කළ රැල්ල වෙරළට ආදරෙයි කතාව නිම්මි අමිත් ආදර ලෝකය ලෙස රසික සමග ඉදිරියට ගෙන ගියේ ය. එසේම පියසිරි උභයරත්න මහතා නිර්මාණය කළ උක්කුවා චිත්‍රකතාවේ උක්කුවාගේ චරිතය සඳහා ඒ මහතා ළඟින් ඇසුරු කළ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපය යොදාගත් බව කියැවේ. එකල එය ජනප්‍රිය කතාවක් බවට පත්විය. 




        එසේ් උක්කුවා ඇඳී පියසිරි උභයරත්න සේ ම ගුණපාල ජයලත් මහතා ද රෆීක් ඩීන් මහතා ද අවාසානාවට මේ වන විට අප අතැර ගොසිනි. එහෙත් එතුමන්ලා නිර්මාණය කළ චිත්‍රකතා තවමත් අප හදවත් තුළ අතීත මතක නංවමින් වැජඹී සිටියි. 





         රසික මුල් කාණ්ඩයේ කලාප 52ක් සහ ඒවායේ පළ වූ රසවත් කතන්දර කිහිපයක් ම මා මිතුරු රෝහණ සිරිවර්ධන මහතා විසින් මා වෙත ලබා දුන් අතර ඒවා ද සමග රසික පත්‍ර සියල්ල ඉදිරියේ දී ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.  .
             
         මුල් කලාප 30ක් කියවමු.

සැ.යු. (චිත්‍රශිල්පීන්ගේ හා ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ හිමිකම් සුරැකීම පිණිස පත්‍ර කිහිපයක් බාගත කරගැනීමටත් අනෙක්වා කියැවීමට හැකි වන පරිදිත්  පමණක් ඉදිරිපත් කර ඇත. ඒවා අඩු මෙගාබයිට් ප්‍රමාණයකින් සමන්විත වන නිසා කියැවීම සඳහා වැඩි ඩේටා ප්‍රමාණයක් වැය නොවන බව කරුනාවෙන් සලකන්න.)

රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි

4 comments:

  1. වටිනා විස්තරයක්.ස්තුතියි ඔබට !!!

    ReplyDelete
  2. ප්‍රතිචාරවලට ස්තුතියි

    ReplyDelete
  3. ස්තූතියි විස්තරයට සහ පත්තරයට

    ReplyDelete