Sunday 21 June 2020

ROBINHOOD රොබින්හුඩ්


    රොබින්හුඩ් තරම් සිත්ගත් රූපවාහිනි කතා මාලාවක් නම් මගේ ජීවිතයේ තවත් නොමැත. නැවත නැවත  කොතරම් නැරඹුව ද එය සිතෙන් ඇත් වී නොයයි. පුංචි සන්දියේ රූපවාහිනියක් තිබූ නිවෙස් සොය සොයා ගම පුරා දිව ඇවිදමින් නැරඹූ මේ කතාමාලාවේ අලුත් කතා මාලාවක් ද පසුව කරලියට ආවේ ය. එය මුලින්  කතා මාලාව තරම් සිත් නොගත් නමුත් රොබින්හුඩ් පිස්සුවක් තිබුවන්ට නම් එය ද සතුට දනවන්නක් විය. එසේ ම රොබින්හුඩ් සේ හැඳ පැළඳ දුනු හී ගෙන කැලෑ පැන්න සුන්දර කාලයක් ද අපට තිබිණි.අද දරුවනට ඒ ළමා කාලය අහිමි වී ගොසිනි.
   කෙසේ වුව ද රූපවාහිනියේ දුටු රොබින්හුඩ් ඊළඟට මට හමුවුණේ විජය නිවසින් ගෙන ආ LITTLE STAR ඉංග්‍රීසි පුවත්පතිනි.



    ඩිස්නි සමාගමේ නිර්මාතෘ වෝල්ඩ් ඩිස්නිගේ treasury of classic tales යටතේ 1952 පමණ ඈත වසරක පළ වී ඇති එම රොබින්හුඩ් කතාව 1985 දී LITTLE STAR පත්‍රෙය් පළ වී ඇත. මා ඒ වන විට යන්තම් අවුරුදු තුන පසු කළා පමණි. කෙසේ වෙතත් අම්මාගේ මහගෙදර තිබී ඉන් පත්තර කිහිපයක් ඊට මඳ කලකට පසු ( වසර හතරකට පමණ පසු) මට හමු විය. එහි තිබු රොබින්හුඩ් සහ ටාසන් චිත්‍රකතා පෙළ මගේ සිත් පැහැරගත්තේ නමුදු එම සම්පූර්ණ කතා සොයාගන්නට මට එතැකින් තවත් අවුරුදු 25 කට වඩා ගත විය. ඒ අනුව අන්තර්ජාලය පීර පීරා සොයාගත් මගේ අතිවීශාල කතන්දර එකතුවට treasury of classic tales කතා මාලාවක් ම එකතු විය.( ඒවා ඉදිරියේ දී ඔබ වෙත ගෙන එමි.) 
    එම රොබින්හුඩ් කතාව ‍මෙතැනින් කියවමු. 
මෙම කතාව ආකාර දෙකකට පළ වී ඇති නිසා එම කොටස් සියල්ල එක ළඟ සිටින සේ මෙම ගොනුව සකසා ඇත. එසේ ම එම කතාවේ ප්‍රංශ පරිවර්තනයක වර්ණ සිතුවම් රැසක් ද මේ සමග ඉදිරිපත් කරමි. ප්‍රංශ බසින්


  
  එයිනුත් පසු නැවත රොබින්හුඩ් මගේ ලෝකයට ආවේ 1991 වසරේ දී විජය පත්‍රයට ජයන්තා කුමාරි සමණබැද්ද මහත්මිය විසින් පරිවර්තනය කර ඉදිරිපත් කරන ලද රොබින්හුඩ් නවකතාවෙනි. එහි කොටස් 50කට වැඩි ගණනක් තවමත් මා සතුව පවතින අතර අහිමි වූ අවසාන කොටස් කිහිපය සොයාගැනීමට මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇත්තෙමි. එම එකතු කරන ලද කතාව දමා තිබූ සුවිසල් පත්තර පෙට්ටියේ පැටවුන් දමන්නට බැළලියක රිංගා ඒවා තරමක් විනාස කර තිබූ නමුදු ඒවා කියැවිය හැකි මට්ටමට සකසා ගන්නට මට හැකි විය. එහි මා සතු කොටස් මේ සමග පළ කරන අතර අවසාන කොටස් කිහිපය හමු වූ විගස පළ කරමි. එසේ ම එම කොටස් ඔබ කවුරුන් හෝ සතුව තිබේ නම් මා වෙත ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.
   එම විජය පත්‍රෙය් පළ වූ කතාවේ තිබූ සිතුවම් ආනන්ද රණතුංග මහතා විසින් සිතුවමට නගා තිබුණු අතර සමහර ඒවා විදෙස් ග්‍රන්ථයකින් උපුටාගෙන තිබිණි. එම විදෙස් ග්‍රන්ථය දැනට දින කිහිපයකට පෙර මට හමු වූයේ වසර ගණනාවක එය සොයා දරන ලද මහන්සියක ප්‍රතිඵලයක් වශයෙනි. great illustrated classics නමැති ග්‍රන්ථ මාලාවේ එක් ග්‍රන්ථයක් ලෙස එය පළ වී තිබෙන අතර එම කතාවද ඉඩකඩ ලැබෙන ආකාරයට එබ වෙතගෙන එන්නට උත්සාහ දරමි.
විජය පත්‍රෙය් පළ වූ කතාව  මෙතැනින් කියවමු.



       තව ද සිඟිති සිත්තර ළමා පත්‍රෙය්  ද 1992 වසරේ දී රොබින්හුඩ් චිත්‍රකතාවක් පළ වූ අතර  එය අතරමග නතර විය. ඔබට අපගේ සිඟිති සිත්තර පත්තර එකතුව බැලීමෙන් එම කතාව කියවිය හැකි ය. 




    එදා මෙදා තුර  රොබින්හුඩ් චිත්‍රකතා රාශියක් නිර්මාණය වී ඇති අතර අනුර විජේවර්ධන සූරින් විසින් 1971 වසරේ දී සිළුමිණ පත්‍රයට නිර්මාණය කරන ලද රොබින්හුඩ්  සමහරවිට සිංහල පාඨකයාට හමු වූ මුල් ම රොබින්හුඩ් චිත්‍රකතාව විය යුතු ය. නමුත් මට එය හමුවූයේ නිමන්සා ප්‍රකාශන ආයතනය විසින් චිත්‍රකතා පොතක් ලෙස එළිදැක්වීමෙන් පසු ය. 



එසේ ම මෙතෙක් නිර්මාණය වූ හොඳම රොබින්හුඩ් චිත්‍රකතාව ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රශිල්පී frank bellamy විසින් නිර්මාණය කරන ලද අලංකාර රොබින්හුඩ් චිත්‍රකතාවයි. එය 1960 ගණන්වල දී බ්‍රිතාන්‍ය Swift ළමා සඟරාවේ පළ වී තිබෙන අතර එම කතාව ද ඉදිරියේ දී ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි. මවිසින් එහි කොටස් කිහිපයක් සිංහලයට හරවා මගේ වෙනත් බ්ලොගයකින් ගෙන එන්නට උත්සාහ කළ ද කාලය එයට හරස් විය.
  




එසේ ම එම කතාව ඉන්දීය Chandamama  ( ලංකාවේ අම්බිලිමාමා ලෙසින් පළ විය) සඟරාවේ ද වෙනස් කිරීම් සහිතව කතාවක් වශයෙන් පළ විය. එම කතාව ද එම සඟරා සමග ඔබට ඉදිරියේ දී කියැවීමට ලැබෙනු ඇත.



    රොබින්හුඩ් සිංහල නවකතා ද රාශියක් පළ වී ඇත.  ඒවායින් හොඳ ම පොත ලෙස මගේ සිත් ගත්තේ ඩේවිඩ් කරුණාරත්න සූරින්ගේ පරිවර්තනයයි.  ඒවා මෙහි ඉදිරිපත් නොකරනුයේ ලේඛක අයිතීන් සුරකිනු පිණිස ය. එබැවින් එහි ඉංග්‍රීසි කතාපොත් කිහිපයක්  පමණක් මෙහි පළ කරමි.











තවද රූපවාහිනියේ විකාශය වූ කතා මාලා ඇසුරින් අසූව දශකයේ දී බ්‍රිතාන්‍ය LOOK IN සඟරාවේ පළ වූ චිත්‍රකතා  කිහිපයක් ද ඔබගේ රසවින්දනය උදෙසා මෙහි පළ කරන අතර විවිධ ආකාරයට පළ වී ඇති තවත් රොබින්හුඩ් චිත්‍රකතා කිහිපයක් ද මේ සමග ඉදිරිපත් කරමි. ඔබේ ප්‍රතිචාර ද බලාපොරොත්තු වෙමි.
    













ඔබගේ අදහස් හා යෝජනා බලාෙපාෙරාත්තු වෙමි.


-රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි