Sunday 3 May 2020

චිත්‍රකතාවේ චිත්‍රකතාව


 


ඒ 1993 වසරයි . ඒ වන විට ලංකාවේ චිත්‍රකතා පත්තර කලාව විවිධ හැල හැප්පීම් මැද ඉදිරියට ගිය යුගයක්. සිත්තර, සත්සිරි, සදාවාසනා, හිතවත, සත්වරුණ සහ මධුර යන චිත්‍රකතා පත්තර ඒ වන විටත් එකිනෙකා අතර තරගයක යෙදෙමින් පාඨකයන්ට උපරිම රසවත් චිත්‍රකතා බෙදා දෙමින් සිටියා. විවිධ හේතු නිසාවෙන් මෙකල චිත්‍රශිල්පීන් ද පත්තර අතර මාරුවෙමින් තම නිර්මාණ ඉදිරිපත් කළ බව කාටත් නොරහසක්.

චිත්‍රකතා ලෝකයේ පතාක යෝධයකු වන සරත් මධු මහතා තම සදා වාසනා පත්තරය වෙනුවෙන් කැපවෙමින් මහන්සි වෙමින් සිටින අතරතුර දී එම පත්‍රෙය් ශිලපීන් පිරිසක් ඉන් ඉවත්ව ගොස් නව චිත්‍රකතා පත්තරයක් ආරම්භ කරනුයේ චිත්‍රකතා ලෝකය කළඹවමින්. සරත්චන්ද්‍ර උඳුගොඩ නම් ශිල්පියා ෆෝලයින් පබ්ලිකේෂන් නම් ආයතනයක් ආරම්භ කරමින් චිත්‍රකතා යන නමින් ම චිත්‍රකතා පත්තරයක් ආරම්භ කරනවා. එමගින් සරත් මධු මහතාගේ සදාවාසනා පත්‍රය නැවත ගොඩනැගිය නොහැකි ආකාරයට ම කඩා වැටීමකට ලක් වෙනවා.

නමුත් චිත්‍රකතා පාඪකයන්ගේ සිත් ඇදගන්නා ප්‍රකාශනයක් ලෙස චිත්‍රකතා ඉදිරියට එනවා. ඇන්ටන් බී.පෙරේරා, අරවින්ද සේනාධිර, ජානක ඉලුක්කුඹුර, සිඩ්නි කරුණාතිලක, විල්ටන් රාජපක්ෂ, නිරෝෂන් කරුණාතිලක, සුසිල් ප්‍රියන්ත, (නෙලුම්) ජනක රත්නායක, අංජන ඉන්ද්‍රජිත් සහ චමෝද් පද්ම ශ්‍රී වැනි දක්ෂ නිර්මාණකරුවන් රැසක් ඊට එකතු වී සිටීම එයට හේතු වුණා. තම කබලෙන් ළිපට කතාව  නැවත මෙම පත්‍රයට නවාතැන යන නමින් අඳිමින් සිටි ජනක රත්නායක මහතා ඉතා ඉක්මනින් මෙම පත්‍රය අතහැර ගියා. තමන් වෙනත් පත්‍රයකට ඇඳි අස්මාරා කතාව නැවත චිත්‍රකතා පත්‍රය තුළින් ගෙන ආවද අරවින්ද මහතා එම කතාව ද අතරමගදී නතර කර දැමුවා. නමුත්  ඒ කතා දෙක වෙනුවට අතරමගදි එකතු වුණූ ඇන්ටන් බී.පෙරේරා මහතා ඩිංකි සහ නින්ජා යන කතා දෙක මගින් චිත්‍රකතා පත්තරය වර්ණවත් කරනවා. විලම්බීත ලන්තේ, චීන කොරටුව, බ්ලඩ්ෆෝස් කොමාන්ඩෝ, සුන්දරී ,බෝදිලිමා,ඉතිං අවසරයි,  ඩේන්ජර් ආදී කතා රැසක් මගේ මතකයේ තවමත් රැදී තිබෙනවා. පසුව අජිත් නිලංග මහතා වන් මෑන් ෂෝ සහ තවත් කතා කිහිපයක් ද රවී වික්‍රමතුංග මහතා සොඳුරු අතීතය නම් චිත්‍රකතාව ද රැගෙන චිත්‍රකතා සමග එකතු වෙනවා.








වසර තුනක් පමණ ගත වන තැන චිත්‍රකතා ක්ෂේත්‍රෙය් මීළඟ විප්ලවය සිදුකරමින් ඇන්ටන් බී.පෙරේරා මහතාගේ සිව්රස චිත්‍රකතා පත්‍රය ආරම්භ වීමත් සමග චිත්‍රකතා පත්තරයේ කඩා වැටීම ආරම්භ වනවා. ඉන් පසු එම පත්‍රය ටික කලක් ඇදී ගිය ද සිකුරු චිත්‍රකතා නමින්  වෙනත් පත්‍රයක් වෙළෙදපළට ඒමත් සමග සම්පූර්ණයෙන් අභාවයට ගිය බවයි මතක. චිත්‍රකතා පත්තරයේ මුල් වසර කිහිපයක මා සතුව තිබූ පත්තර සහ රෝහණ සිරිවර්ධන මහතාගෙන් ඉල්ලා ගත් අඩුපාඩු පිටු ද slcomics වෙඩ් අඩවියෙන් ලබාගත් අඩුපාඩු පිටුද එකතු කර පත්තර වශයෙන් කියැවීමට ඔබ වෙත ගෙන එන්නට මා තීරණය කළා. මේ පත්තර බොහොමයක් ස්කැන් කර දුන් ආනන්ද විජේවර්ධන මහතාටත් නදීෂා සිරිවර්ධන මහත්මියටත් slcomics වෙඩ් අඩවියටත් ස්තුතිවන්ත වෙමු.

චිත්‍රකතා පත්තර කියැවීම සඳහා මේ සබැඳිය භාවිත කරන්න.







No comments:

Post a Comment