Monday 4 May 2020

රිඩර්ස් ඩයිජස්ට් සඟරාවේ සිංහල ආකෘතිය - මුතුහර



   Readers Digest (රීඩර්ස් ඩයිජස්ට්) සඟරාව විදෙස් රටවල් කිහිපයක ම ප්‍රකාශනයට පත් කෙරෙන අතිශය ජනප්‍රිය මාසික සඟරාවක්. ශ්‍රී ලංකාව තුළ ද වැදගත්, වටිනා හරබර ලිපි සහ විශේෂාංග ඇතුළත් සඟරා රාශියක් දීර්ඝ කාලකේ තිස්සේ ප්‍රකාශයට පත් වුණා. රසවාහිනී, ශ්‍රී, නවයුගය , කල්පනා, දෙසතිය, විවරණ, පෙරමග ආදි සඟරා ඒ අතර මුල් තැනක් ගන්නවා . නමුත් මා පෙර කියූ රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ හැඩයට හා ආකෘතියට සමාන ආකාරයෙන් ඒ වන විට පළ වී ඇත්තේ මනහර නම් සඟරාව පමණයි. ඒ අනුව 1983 වසරේ දී මල්ටි ෆැක්ස් ආයතනයෙන් එළි දක්වන ලද මුතුහර මාසික සඟරාව වසර 30කටත් අධික කාලයක් පුරා (2017 වසර දක්වා ම) ලාංකික දූ දරුවන්ගේ වැඩිහිටියන්ගේ දැනුම සා පිපාසා නිවමින් ප්‍රකාශනයට පත් වෙනවා. එහි දීර්ඝ කාලීන ඉතිහාසයේ් ප්‍රධාන සංස්කාරක ලෙස වැඩිම කාලයක් කටයුතු කරන්නේ දක්ෂ ලේඛකයෙකු, නළුවකු හා පරිවර්තකයෙකු ද වන කුමාර සිරිවර්ධන මහතා. අප පුංචි සන්ධියේ ඔහු හඳුනාගෙන සිටියේ කෝපිකඩේ ටෙලිනාට්‍ය මාලාවේ නිමල් ලෙසින්.



     විදෙස් සඟරාවල පළවන දේශපාලන තොරතුරු ඇතුළත් ලිපි, ජීවිතයට වැදගත් වන කරුණු, විදෙස් නවකතා, කෙටිකතා සහ විවිධ විශේෂාංග ලිපි සිංහලයට පරිවර්තනය කරන අතරම ශ්‍රී ලාංකික අපේ සිරිත් විරිත්, ඇදහිලි, හා අපේ රටේ විවිධ තොරතුරු ඇතුළත් ලක් මුතුහර නමින් අමතර පිටු සහිත අතිරේකයක් මුතුහර සඟරාවට එකතු වී තිබීම විශේෂත්වයක්. 
       මෙහි මංගල කලාපයේ කවරය  මා ලබාගත්තේ  චන්දන ගමගේ මහතා විසින් අන්තර්ජාලයේ පළ කර තිබූ සේයාරුවකින්. මා මුතුහර මුල් වරට මිල දී ගත්තේ 1992 වසරේ දී යි. ඒ වන විට මා 5 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියා. ඒ වසරේ කලාපවල සඳහන් වූයේ 6 වැනි කාන්ඩය ලෙස වන අතර මුතුහර 7 වැනි වසරට පා තබන බව ද 1993 වසරේ සඟරාවක කවරයේ පළ වී තිබුණා. සමහර විට අතරමැද දී එය නැවතී තිබෙන්නට ඇති. මුතුහර සඟරා සියයකට වැඩි ප්‍රමාණයක් විවිධ අනතුරුවලින් බේරාගනිමින් තවමත් පොත් රාක්කයේ පරෙස්සම් කරගන්නට මට හැකි වීම පිළිබඳ ඇත්තේ දැඩි සතුටක්. අද විවිධ ක්ෂේත්‍රවල ඉහළ තැන්වල සිටින බොහෝ දෙනෙකු තමනට දැනුම ලබා දුන් මුතුහර පිලිබඳ කතා කරන්නේ ඉමහත් ගෞරවයෙන් හා ආදරයෙන්. මා තුළත් මුතහර පිළිබඳ ඇත්තේ දැඩි ගෞරවයක් හා ආදරයක්.



   මා සතුව තිබෙන එම සඟරාවල පළ වූ වැදගත් ලිපි සහ සඟරා කිහිපයක් ඉදිරයේ දී වරින් වර ඔබ වෙත ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. දැනට ඔබව පැරණි සඟරා දෙකක් පමණක් බාගත කර ගැනීමට ඉඩකඩ සලසා තිබෙනවා.



9 comments:

  1. මේ සගරාවෙ කාලෙන් කාලෙට පල වුනු novels එකට දාන්නකො පුලුවන් නම්,මට ඒ සමහර novels හෙව්වට book shops වලින් ගන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. ඔබට වුවමනා නවකතා මොනවා ද?

      Delete
    2. මම ගොඩක් කාලයක ඉඳන් හොයන පොතක් "නිම්නයක දරුවෝ" කිසියම් යුරෝපීය පොතක පරිවර්තනයක් (පොත මතකයේ නැහැ). එය කොටස් වශයෙන් මුතුහර සඟරාවේ පළ වුණා. ඔබට පුලුවන්ද එය ඔබළඟ තිබේදැයි බලන්න..

      Delete
    3. මා සොයා බලන්නම්. මා සතුව මුතුහර 10 වන කාණ්ඩයේ කලාපවල අඩුවක් තිබෙනවා. ඒවායේ නොවේ නම් එමකතාව පළවුණේ අනවාර්යයෙන් ම මා ළඟ ඇති

      Delete
    4. ආසන්න වශයෙන් පළ වූ වසර මතක නැද්ද

      Delete
    5. මාගේ මතකයේ හැටියට 1996 හෝ 1997

      Delete
  2. ක්‍රිකට් ගැන ලිපි දෙන්න මුතුහර සගරාවේ

    ReplyDelete
  3. කලු මුහුදින් සුදු මුහුදට කවරයේ කතාව තිබ්බ සගරාව නැද්ද

    ReplyDelete