Monday 31 August 2020

කල්පනාවේ කල්පනාව



1981 වසරේ නොවැම්බරයේ දී එවක මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිවරයා වූ රොනී ද මැල් මහතාගේ සංකල්පයක් අනුුව ගුණදාස ලියනගේ මහතාගේ සංස්කාරකත්වයෙන් යුතුව කල්පනා නම් සඟරාව එළි දැක්කේ ය. එය නිකුත් කෙරුණේ මහජන බැංකුවේ අනුග්‍රහයෙනි.එසේ ම එහි උපදේශක මණ්ඩලය මහජන බැංකු නිලධාරින්ගෙන් සමන්විත විය.ප්‍රවීණ ලේඛකයකු  හා පුවත්පත් තලාවේදියෙකු වූ ගුණදාස ලියනගේ මහතා කාලීන, හරබර සහ විවාදාත්මක ලිපිවලින් යුතු අනර්ඝ සඟරාවක් පාඨකයා අතට ගෙන එන්නට ගත් උත්සාහය මල් පල ගැන්වී තිබිණි.


1992 වසර දක්වා ප්‍රකාශයට පත් කල්පනා සඟරාවේ කලාප රාශියක් මා හට හමු වූ අතර මා දන්නා අයුරින් 1992 වසරේ දී කල්පනා ප්‍රකාශයට පත් වීම නැවතී ඇත. 1987 වසරේ දී කල්පනා  සඟරාවෙන්  ඉවත් ව නිදහස් දිවියක් ගෙවීමට ඉටා ගත්  ලියනගේ මහතා 1997 වසරේ දී නැවත සිව්දෙස මාසික සඟරාවේ සංස්කාරක ලෙස ද කෙටි කලක් කටයුතු කළ අතර සිව්දෙස සඟරාවේ හැඩය ද කල්පනා හැඩයට වෙනස් කළේ ය. එතුමා 1998 දී ජීවිතයෙන් සමුගත් අතර කල්පනා සඟරාව සහ ඔහුගේ නම වෙන් කළ නොහැකි සේ බැඳී පවතී. 







මංගල කලාපයෙන් .....










1999 වසරේ දී දසත නම් ආයතනයක් හරහා නැවත කල්පනා නමින් සඟරාව ආරම්භ විය.කෙසේ වෙතත් එය මාසිකව පිළිවෙළකට වෙළඳපොළට නොපැමිණි අතර නව කල්පනා නමින් නම ද වෙනස් වී 2005 වසර වන විට අතර මග නවතා දැමිණි.

කල්පනා  සඟරාව වියතුන්, බුද්ධිමතුන් අතර පමණක් නොව සාමාන්‍ය පාඨක ජනතාව අතර ද ජනප්‍රිය සඟරාවක් වූ අතර සාහිත්‍යය සඳහා ද එහි වැඩි ඉඩකඩක් වෙන් වී තිබිණී. එසේ ම අතිවිශාල බුද්ධිමතුන් විද්වතුන් පිරිසක් ඒ සඳහා ලිපි ඉදිරිපත් කිරීමට පෙළඹී තිබිණි. ( මංගල කලාපයේ පටුන  දෙස බැලීමෙන් ම ඒ බව පෙනී යයි.)

 වටරැක ප්‍රේමදාස, ඔසී දියලගොඩ, හෙන්රි බෙම්මුල්ල,කිත්සිරිමෙවන් ජයසේකර සහ තිස්ස ද සිල්වා යන චිත්‍ර ශිල්පීන් ආරම්භයේ දී සිතුවම් මගින් සඟරාව හැඩ වැඩ කර ඇති අතර පසුව වසන්ත ශ්‍රීනාත් මහතාගේ චිත්‍රවලින් සඟරාව හැඩගැස්වීණි. කෙසේ වුවත් එකල ජනප්‍රිය අංගයක් වූ චිත්‍රකතාවට ඒ හා සමානව ම විවේචන ද සමාජයෙන් එල්ල වීම නිසා ගුණදාස ලියනගේ මහතා තම සඟරාවට කිසිදින චිත්‍රකතා එකතු නොකරන්නට තීරණය කර තිබිණි.

මා සතුව ඇති කල්පනා සඟරා එකිනෙක ඉදිරියේ දී ඔබට කියැවීම සඳහා ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.

දෙවන කලාපය ....







දෙවන කලාපය කියවමු.


රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි.