Monday 20 April 2020

මතක ද සිඟිති සිත්තර..

   
  
       චිත්‍රකතාව සිය ජනප්‍රියත්වයේ උපරිම තලයට ළඟා වී තිබුණු යුගයයි ඒ.1972 වසරේ දී සතුට පත්‍රයෙන් ඇරඹී සිත්තර , සිතුවම, දසුන, සුහද, සත්සිරි ආදී වශයෙන් පැමිණ අනතුරුව හතු පිපෙන්නාක් වගේ චිත්‍රකතා පත්තර බිහිවෙමින් තිබුණා.චිත්‍රකතා පත්තර කුඩා දරුවන්ට නුසුදුසු ය යන්න පිළිබඳ සමාජය තුළ සංවාදයක් ගොඩනැගෙමින් තිබූ අතර සමහර ආයතන එම මතය තහවුරු කරන්නට මෙන් නුසුදුසු චිත්‍ර ඇතුළත් ප්‍රකාශන වෙළෙඳපොළට නිකුත් කරමින් තිබුණා. නමුත් කුඩා දරුවන් වූ අප ටෝගා, ට්‍රෝජන්, නිව්රෝ,ස්පාටකස් වැනි වීරයන් පිළිබඳ කතා කියවන්නට ආසාවෙන් ඒවා බැලුවා මිස ඒවායේ තිබූ ශෘංගාරාත්මක කරුණු අපේ හිත්වලට ඇතුළු වුණේ නැති තරම්. 
      සූකිරි, මීපැණි , විජය සහ මිහිර වැනි ළමා පත්තරවල ද මේ වන විටත් චිත්‍රකතා කිහිපය්ක් පළ වු අතර ඒවා දරුවන්ගේ සේම වැඩහිටියන්ගේ ද ලෝකය රසවත් කළ කතා බවට අදටත් නතර සිහිපත් කෙරෙනවා. 

   සිත්තර ගෙන ආ මල්ටිෆැක්ස් නිවස 1991 වසරෙදි  විප්ලවයක් කරමින් ළමා ලෝකයට එබී බලනවා, ළමයින් සඳහා ම වෙන් වුණු සිඟිති සිත්තර නම් චිත්‍රකතා පත්තරයක් ගෙන එමින්. ඒ වන විටත් සිත්තර, සත්සිරි කියවමින් සිටි මට ඒ පත්තරේ මුල් කලාප කිහිපය මගහරුණු විදිහ නම් තවමත් හිතාගන්නට නොහැකියි. කොහොම වුණත් ඉන් පසු පත්තරය වසරක් වැනි කෙටි කාලයක් තුළ ඉතා අවාසනාවන්ත විදිහට නතරවුණේ අපේ සිත්වලට සෑහෙන දුකක් ගෙන දෙමින්. කොරල් දූපත, හකල්බරි ෆින්, ඔලිවර් ට්විස්ට්, ගලිවර්, රොබින්හුඩ්, අන්දරේ, පිස්සු පූසා, රෝඩ් රනර්, දේව සළුව, අපූරු අමුත්තා , ධාරා වැනි රසවත් ලස්සන කතා අදටත් සිත්වල තැන්පත් වෙලා තියෙනවා. 
බන්දුල සමරසේකර සහ රංජිත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ සම සංස්කාරකත්වයෙන් යුතුව ඇරඹි මේ පත්තරයේ හැඩය මල්ටිෆැක්ස් ආයතනය මුද්‍රණය කළ සුහද පත්තරයේ හැඩය වුණත් 10 වන කලාපයේ සිට එය සිත්තර පත්තරයේ හැඩයට ම වෙනස් වුණා. 

       බැසිල් කුරේරංජිත් ෆොන්සේකාආනන්ද ප්‍රේමලාල් , සරත් කවිරත්නකෝලිත සමරසුන්දරජයන්ත සමරසුන්දර , ටෙනිසන් ප්‍රේමරත්නප්‍රසාද් එදිරිසිංහඋපාලි කුමාර ආදී ශිල්පීන්ගෙන් හැඩවුණු මේ පත්‍රය යම් කිසි හේතුවක් නිසා අතරමග දී වෙනසකට ලක්ව ප්‍රගීත් අබේධිර මහත්මයා විසින් සංස්කරණය කළ බව මා අසා තිබෙනවා. එහි දී පී.ඒ.ලීලාරත්නරංජිත් පීරිස්ගයාශාන් ඇල්පිටියහේමන්ත වරකාපිටියආරියවංශ රණවීරසාලිය මුතුකුල( සත්‍ය නම දැයි නොදනී) වැනි ශිල්පීන්ගේ රසවත් චිත්‍රකතා රාශියක් එයට එකතු වෙනවා.

ඒත් වසරක කාලයක් ගතවන්නටත් පෙර බොහෝ කතා අවසානයක් නොදැක ම පත්තරය අතරමග නතර වෙනවා.
ඒ වගේ ම අවාසනාවකට මා ළඟ තිබූ එම චිත්‍රකතා පත්තර බොහොමයක් විවිධ හේතු නිසා රැකගැනීමට නොහැකි වුණා. ඒත් පුංචි කාලයෙ මගෙ සිහිනයක් තිබුණා කවද හරි පරණ පත්තර ඔක්කොම ඒවා අච්චු ගහන තැනට ගිහින් සල්ලි දීලා ගන්නවා කියලා. නමුත් මගේ පුංචි සිතට වැටහුණේ නැති දෙයක් දැන් මට වැටහෙනවා. ඒ එහෙම පත්තර එකතුවක් තියෙන්නෙ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ විතරයිඒකත්  පිටපත් ලබා ගැනීමට විශාල වියදමක් දරන්නට සිදු වන බව. 

ඉතින් මේ සිඟිති සිත්තර පත්තර නැවත කවදා දකිම් දැයි සිත සිතා සිටි මගේ අහිසංක ආසාව ඉෂ්ට කළේ පරණ පොත් පත්තර විශාල එකතුවක් හිමි රෝහණ සිරිවර්ධන මහත්මයා.ඔහු සහ ඔහුගේ ප්‍රිය බිරිඳ එකතුව මට ඒ සියලු කලාප ඡායා පිටපත් කරවා දුන්නා.ඒ වගේම ඒවා කැමති කෙනෙකුට බෙදා දෙන්නත් කීවා.ඉතින් මා තීරණය කළා ඒවා කියවා රසවිඳින්නට ඔබටත් අවස්ථාවක් ලබා දෙන්නට.ඉතින් ඒ අයට නැවත වරක් ස්තුති කරමින් අපි ඒවා රසවිඳිමු.
       ඒ සොඳුරු පත්තරය කතා ටික සම්පූර්ණයෙන් ඉවර වෙනකම්වත් ආවා නම් කියා මට වගේ ම ඔබටත් හිතේවි.ඒ වගේ ම කඩා වැටි ඇති චිත්‍රකතාව ගොඩගන්නට නම් දරුවන් සඳහා වන මෙවැනි ප්‍රකාශන දරුවන් අතට පත් කළ යුතු බවයි මගේ හැඟීම.ඉන්දියාවේ Tinkle සඟරාව ඊට හොඳ උදාහරණයක්...




ඔබට පහත ඇති සබැඳිය ඔස්සේ එම පත්තර සමහරක් බාගත කර ගැනීමටත් සමහරක් කියැවීමටත් හැකියාව ලැබේවි. දැනට උඩුගත(upload) කර නොමැති කලාප ඉදිරියේදි උඩුගත කරන විට ඔබ වෙත දැනුම් දීමක් සිදු කෙරෙනවා.


රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි

Wednesday 15 April 2020

සත් සමුදුරෙන් එහා විසල් ලොවකට අප කැඳවා ගෙන ගිය සමුදුර පත්තරේ..






      ඒ 1992 වසරේ අවසාන භාගයයි. ඒ වන විටත් මල්ටිෆැක්ස් ආයතනයෙන් බිහිවුණු කුමරි පත්තරය මගින් නව පත්තර සංස්කෘතියක් හඳුන්වා දී තිබුණු බන්දුල පද්මකුමාර මහතා විසින්, සුමති ප්‍රකාශන ආයතනයෙන් එළිදක්වන ලද සමුදුර නම් පුවත්පත හරහා තවත් අලුත් පුවත්පත් කලාවක් හඳුන්වා දෙන ලද්ද‍ේ මේ කාලයේදියි . මංගල කලාපය නොමිලේ බෙදා හරින ලද සමුදුර පුවත්පතේ තේමා පාඨය වුණේ සත් සමුදුරෙන් එහා විසල් ලොවකට ඔබ කැඳවාගෙන යන සාර සංග්‍රහය යන්නයි. තේමාවට ගැළපෙන අයුරින් ම විදෙස් පතපොත සහ සඟරා ඇසුරෙන් සකසන ලද සාරගර්භ ලිපි ද,  ඡායාරූප සදහා වැඩි ඉඩකඩක් ලබාදුන් ලිපි ද හරිහරියට එමගින් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වන විට මුතුහර, මනහර, සිව්දෙස වැනි ඩයිජස්ට් වර්ගයේ මාසික සඟරා වෙළෙඳපළේ තිබුණත් මෙවැනි පුවත්පතක් පාඨකයන් අතට ගොස් නොතිබූ නිසා බදාදාට නිකුත් වන මෙම පුවත්පත ජනතාව විසින් ආදරයෙන් වැළඳගනු ලැබුවා.

     අන්තර්ජාලය පිළිබඳව අසාවත් නොතිබුණු ඒ යුගයේ Readers Digest, Newsweek, Time , India Today, Hello , National Geography, Front line, Look and Learn, Punch සහ Life වැනි සඟරා පිළිබඳ අප දැනගත්තේ මේ පුවත් පත හරහායි. ඒ වන විටත්  ග‍මේ පාසලක 5 වසරේ සිසුවකු ව සිටි මා  සමුදුර මගින් ලෝකය පිළිබඳ බොහෝ දෑ දැනගත් බව කෘතඥතාවෙන් යුතුව සිහිපත් කළ යුතුයි.
       දශකයෙන් දශකයට නම් රූපමය ලිපි පෙළ, පද්මකුමාර මහතාගේ ජගත් කවුළුවෙන් එබී බලන පුංචි මිනිසකුගේ මතක සටහන් , රජිව් ගාන්ධි පිළිබඳ ලිපි පෙළ මුල් කාලයේ අමතක නොවෙන ලිපි කිහිපයක්. ඒ වගේම සමුදුර මුල් පිටුව වෙනස් ම ආරකින් ඉදිරිපත් කරන්නටත් පද්මකුමාර මහතා පියවර ගෙන තිබුණු බව මේ ලිපියට අමුණා ඇති මුල් පිටු දකින ඔබට වැටහේවි. මනෝජ් රත්නායක, භාරති වීරසිංහ, නිරංජන් චාමින්ද සහ කසුන් ගමගේ වැනි දක්ෂ ලේඛක පිරිසක් මුල් කාලයේ සමුදුර සමග එකතු වී සිටියා.
         සමුදුර පුවත්පතේ ආකෘතියට ම ICMS ආයතනය විසින් සක්වල නමින් පුවත්පතක් ගෙන ආවත් එය සමුදුර තරම් කල් අල්ලා ඉන්නට සමත් වුණේ නැහැ. සමුදුර පසුකාලීනව විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් වසර විස්සකට වඩා අධික කාලයක් පත්තර ක්ෂේත්‍රෙය් තම නාමය රඳවා ගන්නට සමත් වුණා. අතරමගදී එය ලක්බිම පුවත්පත සමග නොමිලේ ලබා දෙන අතිරේකයක් බවටත් පත් වුණා. ඒ අතර කාලයේ සමුුදුර හරහා විවිධ නවකතා සහ කෘතින් රැසක් පාඨකයා වෙත ගෙන ආ බව මගේ මතකයේ රැදී තිබෙනවා. තස්ලීමා නස්රින්ගේ ලැජ්ජා,  කොටි සංවිධානයේ විකාශනය පිළිබඳ කෘතියක්, අන ෆ්‍රැන්කෝගේ දිනපොත, මොහිකන්වරැන්ගේ අවසානය,  සම්පත් දූපත , ලෝකය වටේ අසු දවසකින් වැනි පරිවර්තන කෘති කිහිපයක් මගේ මතකයට නැගෙනවා. එසේ ම ඩයනා කුමරියගේ හා තෙරේසා මවුතුමියගේ අභාවයන් වෙනුවෙන් ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහනය වෙනුවෙන් ද සම්පූර්ණ කලාප වෙන් කර තිබුණා.( ඉදිරියේ දී ඔබ වෙත ගෙන එමි). මා මෙම පුවත්පත මිලදී ගත්තේ 10 වන කලාපයේ සිටයි. 2000 වසර වන විට මෙම පුවත්පත මිල දී ගැනීම කෙරෙහි තිබූ උනන්දුව හීන වී ගිය නිසා ඉන් ඔබ්බට පුවත්පත් මා මිලදි ගත්තේ නැහැ. එසේ ම අතරින් පතර විනාශ වීමි සහ නැතිවීම් නිසා අහිමිව ගිය පුවත්පත් ප්‍රමාණය ද විශාලයි.කෙසේ වෙතත් පළමුවෙන් එම පුවත්පත්වල කවර සහ ඒවායේ තිබූ හරවත් ලිපි වරින් වර ඔබ වෙත ගෙන එන්නට මා අදහස් කරනවා.
           මේ සමග ඉදිරිපත් කර ඇති මංගල කලාපය මා උපුටා ගත්තේ සමදුරේ ආරම්භක ලේඛකයතු වන නිරංජන් චාමින්ද කරුණාතිලක මහතාගේ මගේ  ලෝකය සහ එපිට ලෝකය නම් බ්ලොග් අඩවියෙනුයි.ඒ මහතා සමුදුර පත්තරය පිළිබඳ තැබූ සටහන මෙම සබැඳිය ඔස්සේ කියැවිය හැකියි.


කෙසේ වෙතත් 2019 වසරේ දී සුමතිපුවත් පත් ආයතනය තමන් විසින් මුද්‍රණය කරන ලද සියලු පුවත්පත් නවතා දැමූ බව ද කනගාටුවෙන් සඳහන් කළ යුතුයි. එසේ ම සමුදුරෙන් අනතුරුව ඉරිදා ලක්බිම පුවත්පත හරහා තවත් විප්ලවයක් කළ බන්දුල පද්මකුමාර මහතා රෑපවාහිනිය හරහා පත්තර මුල් පිටුව වැඩසටහන මගින් ද මාධ්‍ය කලාවේ වෙනසක් කළ බව මතක් කළ යුතුයි. 






           
             සමුදුර මුල්ම කලාපය සහ මුල් කවර රැසක් ද මෙම සබැඳිය ඔස්සේ දැකගත හැකි අතර ඉදිරියේ දී උඩුගත කරන කලාප පිළිබඳ  ෆේස්බුක් සමූහය ඔස්සේ දැනුවත් කිරීම් සිදු කෙරෙනු ඇති.

Monday 6 April 2020

ස්වර්ණමය අතීතයට පිය නඟමු....


මෙම බ්ලොග් අඩවිය ගැනයි මේ....


 


මෙම  බ්ලොග් අඩවිය වෙත පිවිසෙන ඔබත් මමත් සුන්දර අතීතයක මතක සටහන් යළි යළිත් සිහිපත් කරන්නට කැමති අතීතකාමීහු වෙමු.අපේ ඒ අතීතය වඩ වඩාත් සුන්දර කළ යමක් වේ ද එහි මුල් තැන පත්තර,පොත් සහ සඟරාවලට නිතැතින් ම හිමි වේ.මේ වෑයම එම සුන්දර මතක සටහන් ඔබත් මාත් අතර බෙදා ගැනීමටයි.
එය සිදු වන්නේ කොහොමද?
       මේ වන විට මුහුණු පොතේ ද වෙනත් අන්තර්ජාල වෙබ් අඩවිවල ද මේ පිලිබඳ විවධ තොරතුරු හා ඡායාරෑප පළ වන නමුත් ඒ පිළිබඳ තොරතුරු එකතු වන ස්ථානයක් නොමැති වීම නිසා එම මුල්අයිතිකරුවන්ගේ හිමිකම් සුරකිමින් එම ලේඛනවල කොටස් හා links එකතු කරමින් ලිපි හා නිර්මාණ එකතුවක් ගොඩනැංවීම මෙහි අරමුණ වෙයි.සමහර ප්‍රකාශන සහ  නිර්මාණ බාගත කර ගැනිමට ද සමහර ඒවා කියැවීමට ද සමහර ඒවායින් තෝරාගත් කොටස් කියැවීමට ද ඔබට මෙමගින් ඉඩ සැලසෙනු ඇත.ඒ අතර මා සහ සහෝදර සංස්කාරකවරුන් සතුව ඇති විශාල පත්තර සඟරා එකතුව ද ඔබ වෙත සමිප කරවීමට හැකි පමණ උත්සාහ දරන අතර  ඔබ සතුව ඇති පැරණි පත්තර සඟරා මුල් පිටු හෝ සම්පූර්යෙණයෙන් ම හෝ අප වෙත ඡායාරූපගත කර එවීමෙන් සහ තේමාවට අදාළ ලිපි රචනයෙන් ඔබටත් මේ සඳහා සම්බන්ධ විය හැකි ය.
මෙම බ්ලොගය ප්‍රධාන වශයෙන් කාණ්ඩ පහක් යටතේ ක්‍රියාත්මක වනු ඇත.පැරණි පත්තර, පැරණි චිත්‍රකතා පත්තර , පැරණි සඟරා, පැරණි පොත් සහ පැරණි විදෙස් ප්‍රකාශන එම කාණ්ඩ වේ. මෙම බ්ලොගයේ පළ වන සියලු දෑ අතරින් ඔබට යමක් බාගත කරගැනීමට හෝ කියැවීමට පහසුකම් සලසා ඇති නම් ඒවා google drive එකක් හරහා කියැවිය යුතු ආකාරයට ඉදිරිපත් කර ඇති බවත් ඔබට google ගිණුමක් හිමිව තිබීම එය පහසු කරවනු ඇති බවත් කාරුණීක ව දන්වමි.



        
        එසේ ම මෙම කාර්යය ආරම්භ කිරීමේ දී ස්තුතිපූර්වක ව සිහිපත් කළ යුතු අය රාශියක් වෙයි.
1. මට මෙම පත්තර පොත් සහ සඟරා මිල දී ගෙන දුන් සීයා ආච්චි තාත්තා ලොකු අම්මා ඇතුළු සියලු දෙනා
2. slcomics වෙබ් අඩවියේ ආරම්භක සහ ඒ සදහා සියලු කතා සැපයූ කතා එකතු කරන මහත්වරුන්
3. මෙම පත්තරවල නිර්මාණකරුවන් ලේඛකයන් සහ චිත්‍රශිල්පී මහත්ම මහත්මින් සියලු දෙනා
4. sinhala comics ෆේස්බුක් සමූහයේ නිර්මාතෘ සසංක හර්ෂණ මහතා සහ එයට පත්තර එකතු කරන සියලු දෙනා
5. මා හට පත්තර ස්කෑන් කර දෙන ආනන්ද විජේවර්ධන මහතා රෝහණ සිරිවර්ධන මහතා සහ එතුමාගේ ප්‍රිය බිරිඳ සහ පත්තර ලබා දෙන ප්‍රදීප් චතුරංග සහෝදරයා
6.  ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වී අලංකාර ලෙස ස්වර්ණ ලොගෝව නිර්මාණය කර දුන් චිත්‍ර ශිල්පී ලලිත් රත්නායක අයියාට
7.  නිබඳ මා දිරිමත් කරන අනුර විතානගේ අයියා  සහ තවත් හිතමිතුරන් සහ මා ප්‍රිය බිරිඳ
මේ සියලුදෙනා නොවන්නට මෙම කාර්යය ඉදිරියට ගෙන යන්නට නොහැකි බව ඔවුනට ගරු කිරීමක් වශයෙන් ලියා තබමි.

       තව ද මෙහි පළවන කිසිවකින් ඔබගේ පෞද්ගලිකත්වයට හානි වේ නම් හෝ ඔබගේ හිමිකම් කඩවීමක් සිදු වේ නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ යෝජනා අදහස් එක් කිරිමට හෝ පහත විද්‍යුත් තැපැල් ලිපිනය හෝ දුරකතන අංකය භාවිත කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

දුරකතන හා වට්ස්ඇප් 0713001442
ඊමේල්  dilhanpayagala2@gmail.com