Monday 20 April 2020

මතක ද සිඟිති සිත්තර..

   
  
       චිත්‍රකතාව සිය ජනප්‍රියත්වයේ උපරිම තලයට ළඟා වී තිබුණු යුගයයි ඒ.1972 වසරේ දී සතුට පත්‍රයෙන් ඇරඹී සිත්තර , සිතුවම, දසුන, සුහද, සත්සිරි ආදී වශයෙන් පැමිණ අනතුරුව හතු පිපෙන්නාක් වගේ චිත්‍රකතා පත්තර බිහිවෙමින් තිබුණා.චිත්‍රකතා පත්තර කුඩා දරුවන්ට නුසුදුසු ය යන්න පිළිබඳ සමාජය තුළ සංවාදයක් ගොඩනැගෙමින් තිබූ අතර සමහර ආයතන එම මතය තහවුරු කරන්නට මෙන් නුසුදුසු චිත්‍ර ඇතුළත් ප්‍රකාශන වෙළෙඳපොළට නිකුත් කරමින් තිබුණා. නමුත් කුඩා දරුවන් වූ අප ටෝගා, ට්‍රෝජන්, නිව්රෝ,ස්පාටකස් වැනි වීරයන් පිළිබඳ කතා කියවන්නට ආසාවෙන් ඒවා බැලුවා මිස ඒවායේ තිබූ ශෘංගාරාත්මක කරුණු අපේ හිත්වලට ඇතුළු වුණේ නැති තරම්. 
      සූකිරි, මීපැණි , විජය සහ මිහිර වැනි ළමා පත්තරවල ද මේ වන විටත් චිත්‍රකතා කිහිපය්ක් පළ වු අතර ඒවා දරුවන්ගේ සේම වැඩහිටියන්ගේ ද ලෝකය රසවත් කළ කතා බවට අදටත් නතර සිහිපත් කෙරෙනවා. 

   සිත්තර ගෙන ආ මල්ටිෆැක්ස් නිවස 1991 වසරෙදි  විප්ලවයක් කරමින් ළමා ලෝකයට එබී බලනවා, ළමයින් සඳහා ම වෙන් වුණු සිඟිති සිත්තර නම් චිත්‍රකතා පත්තරයක් ගෙන එමින්. ඒ වන විටත් සිත්තර, සත්සිරි කියවමින් සිටි මට ඒ පත්තරේ මුල් කලාප කිහිපය මගහරුණු විදිහ නම් තවමත් හිතාගන්නට නොහැකියි. කොහොම වුණත් ඉන් පසු පත්තරය වසරක් වැනි කෙටි කාලයක් තුළ ඉතා අවාසනාවන්ත විදිහට නතරවුණේ අපේ සිත්වලට සෑහෙන දුකක් ගෙන දෙමින්. කොරල් දූපත, හකල්බරි ෆින්, ඔලිවර් ට්විස්ට්, ගලිවර්, රොබින්හුඩ්, අන්දරේ, පිස්සු පූසා, රෝඩ් රනර්, දේව සළුව, අපූරු අමුත්තා , ධාරා වැනි රසවත් ලස්සන කතා අදටත් සිත්වල තැන්පත් වෙලා තියෙනවා. 
බන්දුල සමරසේකර සහ රංජිත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ සම සංස්කාරකත්වයෙන් යුතුව ඇරඹි මේ පත්තරයේ හැඩය මල්ටිෆැක්ස් ආයතනය මුද්‍රණය කළ සුහද පත්තරයේ හැඩය වුණත් 10 වන කලාපයේ සිට එය සිත්තර පත්තරයේ හැඩයට ම වෙනස් වුණා. 

       බැසිල් කුරේරංජිත් ෆොන්සේකාආනන්ද ප්‍රේමලාල් , සරත් කවිරත්නකෝලිත සමරසුන්දරජයන්ත සමරසුන්දර , ටෙනිසන් ප්‍රේමරත්නප්‍රසාද් එදිරිසිංහඋපාලි කුමාර ආදී ශිල්පීන්ගෙන් හැඩවුණු මේ පත්‍රය යම් කිසි හේතුවක් නිසා අතරමග දී වෙනසකට ලක්ව ප්‍රගීත් අබේධිර මහත්මයා විසින් සංස්කරණය කළ බව මා අසා තිබෙනවා. එහි දී පී.ඒ.ලීලාරත්නරංජිත් පීරිස්ගයාශාන් ඇල්පිටියහේමන්ත වරකාපිටියආරියවංශ රණවීරසාලිය මුතුකුල( සත්‍ය නම දැයි නොදනී) වැනි ශිල්පීන්ගේ රසවත් චිත්‍රකතා රාශියක් එයට එකතු වෙනවා.

ඒත් වසරක කාලයක් ගතවන්නටත් පෙර බොහෝ කතා අවසානයක් නොදැක ම පත්තරය අතරමග නතර වෙනවා.
ඒ වගේ ම අවාසනාවකට මා ළඟ තිබූ එම චිත්‍රකතා පත්තර බොහොමයක් විවිධ හේතු නිසා රැකගැනීමට නොහැකි වුණා. ඒත් පුංචි කාලයෙ මගෙ සිහිනයක් තිබුණා කවද හරි පරණ පත්තර ඔක්කොම ඒවා අච්චු ගහන තැනට ගිහින් සල්ලි දීලා ගන්නවා කියලා. නමුත් මගේ පුංචි සිතට වැටහුණේ නැති දෙයක් දැන් මට වැටහෙනවා. ඒ එහෙම පත්තර එකතුවක් තියෙන්නෙ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ විතරයිඒකත්  පිටපත් ලබා ගැනීමට විශාල වියදමක් දරන්නට සිදු වන බව. 

ඉතින් මේ සිඟිති සිත්තර පත්තර නැවත කවදා දකිම් දැයි සිත සිතා සිටි මගේ අහිසංක ආසාව ඉෂ්ට කළේ පරණ පොත් පත්තර විශාල එකතුවක් හිමි රෝහණ සිරිවර්ධන මහත්මයා.ඔහු සහ ඔහුගේ ප්‍රිය බිරිඳ එකතුව මට ඒ සියලු කලාප ඡායා පිටපත් කරවා දුන්නා.ඒ වගේම ඒවා කැමති කෙනෙකුට බෙදා දෙන්නත් කීවා.ඉතින් මා තීරණය කළා ඒවා කියවා රසවිඳින්නට ඔබටත් අවස්ථාවක් ලබා දෙන්නට.ඉතින් ඒ අයට නැවත වරක් ස්තුති කරමින් අපි ඒවා රසවිඳිමු.
       ඒ සොඳුරු පත්තරය කතා ටික සම්පූර්ණයෙන් ඉවර වෙනකම්වත් ආවා නම් කියා මට වගේ ම ඔබටත් හිතේවි.ඒ වගේ ම කඩා වැටි ඇති චිත්‍රකතාව ගොඩගන්නට නම් දරුවන් සඳහා වන මෙවැනි ප්‍රකාශන දරුවන් අතට පත් කළ යුතු බවයි මගේ හැඟීම.ඉන්දියාවේ Tinkle සඟරාව ඊට හොඳ උදාහරණයක්...




ඔබට පහත ඇති සබැඳිය ඔස්සේ එම පත්තර සමහරක් බාගත කර ගැනීමටත් සමහරක් කියැවීමටත් හැකියාව ලැබේවි. දැනට උඩුගත(upload) කර නොමැති කලාප ඉදිරියේදි උඩුගත කරන විට ඔබ වෙත දැනුම් දීමක් සිදු කෙරෙනවා.


රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි

No comments:

Post a Comment