Wednesday 15 April 2020

සත් සමුදුරෙන් එහා විසල් ලොවකට අප කැඳවා ගෙන ගිය සමුදුර පත්තරේ..






      ඒ 1992 වසරේ අවසාන භාගයයි. ඒ වන විටත් මල්ටිෆැක්ස් ආයතනයෙන් බිහිවුණු කුමරි පත්තරය මගින් නව පත්තර සංස්කෘතියක් හඳුන්වා දී තිබුණු බන්දුල පද්මකුමාර මහතා විසින්, සුමති ප්‍රකාශන ආයතනයෙන් එළිදක්වන ලද සමුදුර නම් පුවත්පත හරහා තවත් අලුත් පුවත්පත් කලාවක් හඳුන්වා දෙන ලද්ද‍ේ මේ කාලයේදියි . මංගල කලාපය නොමිලේ බෙදා හරින ලද සමුදුර පුවත්පතේ තේමා පාඨය වුණේ සත් සමුදුරෙන් එහා විසල් ලොවකට ඔබ කැඳවාගෙන යන සාර සංග්‍රහය යන්නයි. තේමාවට ගැළපෙන අයුරින් ම විදෙස් පතපොත සහ සඟරා ඇසුරෙන් සකසන ලද සාරගර්භ ලිපි ද,  ඡායාරූප සදහා වැඩි ඉඩකඩක් ලබාදුන් ලිපි ද හරිහරියට එමගින් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වන විට මුතුහර, මනහර, සිව්දෙස වැනි ඩයිජස්ට් වර්ගයේ මාසික සඟරා වෙළෙඳපළේ තිබුණත් මෙවැනි පුවත්පතක් පාඨකයන් අතට ගොස් නොතිබූ නිසා බදාදාට නිකුත් වන මෙම පුවත්පත ජනතාව විසින් ආදරයෙන් වැළඳගනු ලැබුවා.

     අන්තර්ජාලය පිළිබඳව අසාවත් නොතිබුණු ඒ යුගයේ Readers Digest, Newsweek, Time , India Today, Hello , National Geography, Front line, Look and Learn, Punch සහ Life වැනි සඟරා පිළිබඳ අප දැනගත්තේ මේ පුවත් පත හරහායි. ඒ වන විටත්  ග‍මේ පාසලක 5 වසරේ සිසුවකු ව සිටි මා  සමුදුර මගින් ලෝකය පිළිබඳ බොහෝ දෑ දැනගත් බව කෘතඥතාවෙන් යුතුව සිහිපත් කළ යුතුයි.
       දශකයෙන් දශකයට නම් රූපමය ලිපි පෙළ, පද්මකුමාර මහතාගේ ජගත් කවුළුවෙන් එබී බලන පුංචි මිනිසකුගේ මතක සටහන් , රජිව් ගාන්ධි පිළිබඳ ලිපි පෙළ මුල් කාලයේ අමතක නොවෙන ලිපි කිහිපයක්. ඒ වගේම සමුදුර මුල් පිටුව වෙනස් ම ආරකින් ඉදිරිපත් කරන්නටත් පද්මකුමාර මහතා පියවර ගෙන තිබුණු බව මේ ලිපියට අමුණා ඇති මුල් පිටු දකින ඔබට වැටහේවි. මනෝජ් රත්නායක, භාරති වීරසිංහ, නිරංජන් චාමින්ද සහ කසුන් ගමගේ වැනි දක්ෂ ලේඛක පිරිසක් මුල් කාලයේ සමුදුර සමග එකතු වී සිටියා.
         සමුදුර පුවත්පතේ ආකෘතියට ම ICMS ආයතනය විසින් සක්වල නමින් පුවත්පතක් ගෙන ආවත් එය සමුදුර තරම් කල් අල්ලා ඉන්නට සමත් වුණේ නැහැ. සමුදුර පසුකාලීනව විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් වසර විස්සකට වඩා අධික කාලයක් පත්තර ක්ෂේත්‍රෙය් තම නාමය රඳවා ගන්නට සමත් වුණා. අතරමගදී එය ලක්බිම පුවත්පත සමග නොමිලේ ලබා දෙන අතිරේකයක් බවටත් පත් වුණා. ඒ අතර කාලයේ සමුුදුර හරහා විවිධ නවකතා සහ කෘතින් රැසක් පාඨකයා වෙත ගෙන ආ බව මගේ මතකයේ රැදී තිබෙනවා. තස්ලීමා නස්රින්ගේ ලැජ්ජා,  කොටි සංවිධානයේ විකාශනය පිළිබඳ කෘතියක්, අන ෆ්‍රැන්කෝගේ දිනපොත, මොහිකන්වරැන්ගේ අවසානය,  සම්පත් දූපත , ලෝකය වටේ අසු දවසකින් වැනි පරිවර්තන කෘති කිහිපයක් මගේ මතකයට නැගෙනවා. එසේ ම ඩයනා කුමරියගේ හා තෙරේසා මවුතුමියගේ අභාවයන් වෙනුවෙන් ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහනය වෙනුවෙන් ද සම්පූර්ණ කලාප වෙන් කර තිබුණා.( ඉදිරියේ දී ඔබ වෙත ගෙන එමි). මා මෙම පුවත්පත මිලදී ගත්තේ 10 වන කලාපයේ සිටයි. 2000 වසර වන විට මෙම පුවත්පත මිල දී ගැනීම කෙරෙහි තිබූ උනන්දුව හීන වී ගිය නිසා ඉන් ඔබ්බට පුවත්පත් මා මිලදි ගත්තේ නැහැ. එසේ ම අතරින් පතර විනාශ වීමි සහ නැතිවීම් නිසා අහිමිව ගිය පුවත්පත් ප්‍රමාණය ද විශාලයි.කෙසේ වෙතත් පළමුවෙන් එම පුවත්පත්වල කවර සහ ඒවායේ තිබූ හරවත් ලිපි වරින් වර ඔබ වෙත ගෙන එන්නට මා අදහස් කරනවා.
           මේ සමග ඉදිරිපත් කර ඇති මංගල කලාපය මා උපුටා ගත්තේ සමදුරේ ආරම්භක ලේඛකයතු වන නිරංජන් චාමින්ද කරුණාතිලක මහතාගේ මගේ  ලෝකය සහ එපිට ලෝකය නම් බ්ලොග් අඩවියෙනුයි.ඒ මහතා සමුදුර පත්තරය පිළිබඳ තැබූ සටහන මෙම සබැඳිය ඔස්සේ කියැවිය හැකියි.


කෙසේ වෙතත් 2019 වසරේ දී සුමතිපුවත් පත් ආයතනය තමන් විසින් මුද්‍රණය කරන ලද සියලු පුවත්පත් නවතා දැමූ බව ද කනගාටුවෙන් සඳහන් කළ යුතුයි. එසේ ම සමුදුරෙන් අනතුරුව ඉරිදා ලක්බිම පුවත්පත හරහා තවත් විප්ලවයක් කළ බන්දුල පද්මකුමාර මහතා රෑපවාහිනිය හරහා පත්තර මුල් පිටුව වැඩසටහන මගින් ද මාධ්‍ය කලාවේ වෙනසක් කළ බව මතක් කළ යුතුයි. 






           
             සමුදුර මුල්ම කලාපය සහ මුල් කවර රැසක් ද මෙම සබැඳිය ඔස්සේ දැකගත හැකි අතර ඉදිරියේ දී උඩුගත කරන කලාප පිළිබඳ  ෆේස්බුක් සමූහය ඔස්සේ දැනුවත් කිරීම් සිදු කෙරෙනු ඇති.

3 comments:

  1. මේ බ්ලොග් සටහන මම දැක්කේ අහම්බෙන්. පැරණි පත්තර සමග ඉදිරිපත් කරන මේ බ්ලොග් එකට මම සුබ පතනවා. මේ පත්තර දකින විට මගේ හිත අවුරුදු ගණනාවක් ආපස්සට ඇදී ගියා. ඔබ ද සමුදුර රසිකයකු වීම ගැනත් මට තියෙන්නේ සතුටක්. ඔබට ජය
    - මම නිරංජන් කරුණාතිලක
    https://worldbeyondworld.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහොම ඔබට. තවමත් සුමුදු පත්තර 200ක් විතර පරිස්සම් කරනවා.

      Delete
  2. කාලයක් තිස්සේ හොය හොය හිටිය දෙයක් දැන් හම්බ උනාම පුදුම සතුටක් දැනෙන්නේ. බොහොම ස්තුතියි මේ විස්තරය ගැන.

    ReplyDelete