Monday, 31 August 2020

කල්පනාවේ කල්පනාව



1981 වසරේ නොවැම්බරයේ දී එවක මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිවරයා වූ රොනී ද මැල් මහතාගේ සංකල්පයක් අනුුව ගුණදාස ලියනගේ මහතාගේ සංස්කාරකත්වයෙන් යුතුව කල්පනා නම් සඟරාව එළි දැක්කේ ය. එය නිකුත් කෙරුණේ මහජන බැංකුවේ අනුග්‍රහයෙනි.එසේ ම එහි උපදේශක මණ්ඩලය මහජන බැංකු නිලධාරින්ගෙන් සමන්විත විය.ප්‍රවීණ ලේඛකයකු  හා පුවත්පත් තලාවේදියෙකු වූ ගුණදාස ලියනගේ මහතා කාලීන, හරබර සහ විවාදාත්මක ලිපිවලින් යුතු අනර්ඝ සඟරාවක් පාඨකයා අතට ගෙන එන්නට ගත් උත්සාහය මල් පල ගැන්වී තිබිණි.


1992 වසර දක්වා ප්‍රකාශයට පත් කල්පනා සඟරාවේ කලාප රාශියක් මා හට හමු වූ අතර මා දන්නා අයුරින් 1992 වසරේ දී කල්පනා ප්‍රකාශයට පත් වීම නැවතී ඇත. 1987 වසරේ දී කල්පනා  සඟරාවෙන්  ඉවත් ව නිදහස් දිවියක් ගෙවීමට ඉටා ගත්  ලියනගේ මහතා 1997 වසරේ දී නැවත සිව්දෙස මාසික සඟරාවේ සංස්කාරක ලෙස ද කෙටි කලක් කටයුතු කළ අතර සිව්දෙස සඟරාවේ හැඩය ද කල්පනා හැඩයට වෙනස් කළේ ය. එතුමා 1998 දී ජීවිතයෙන් සමුගත් අතර කල්පනා සඟරාව සහ ඔහුගේ නම වෙන් කළ නොහැකි සේ බැඳී පවතී. 







මංගල කලාපයෙන් .....










1999 වසරේ දී දසත නම් ආයතනයක් හරහා නැවත කල්පනා නමින් සඟරාව ආරම්භ විය.කෙසේ වෙතත් එය මාසිකව පිළිවෙළකට වෙළඳපොළට නොපැමිණි අතර නව කල්පනා නමින් නම ද වෙනස් වී 2005 වසර වන විට අතර මග නවතා දැමිණි.

කල්පනා  සඟරාව වියතුන්, බුද්ධිමතුන් අතර පමණක් නොව සාමාන්‍ය පාඨක ජනතාව අතර ද ජනප්‍රිය සඟරාවක් වූ අතර සාහිත්‍යය සඳහා ද එහි වැඩි ඉඩකඩක් වෙන් වී තිබිණී. එසේ ම අතිවිශාල බුද්ධිමතුන් විද්වතුන් පිරිසක් ඒ සඳහා ලිපි ඉදිරිපත් කිරීමට පෙළඹී තිබිණි. ( මංගල කලාපයේ පටුන  දෙස බැලීමෙන් ම ඒ බව පෙනී යයි.)

 වටරැක ප්‍රේමදාස, ඔසී දියලගොඩ, හෙන්රි බෙම්මුල්ල,කිත්සිරිමෙවන් ජයසේකර සහ තිස්ස ද සිල්වා යන චිත්‍ර ශිල්පීන් ආරම්භයේ දී සිතුවම් මගින් සඟරාව හැඩ වැඩ කර ඇති අතර පසුව වසන්ත ශ්‍රීනාත් මහතාගේ චිත්‍රවලින් සඟරාව හැඩගැස්වීණි. කෙසේ වුවත් එකල ජනප්‍රිය අංගයක් වූ චිත්‍රකතාවට ඒ හා සමානව ම විවේචන ද සමාජයෙන් එල්ල වීම නිසා ගුණදාස ලියනගේ මහතා තම සඟරාවට කිසිදින චිත්‍රකතා එකතු නොකරන්නට තීරණය කර තිබිණි.

මා සතුව ඇති කල්පනා සඟරා එකිනෙක ඉදිරියේ දී ඔබට කියැවීම සඳහා ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.

දෙවන කලාපය ....







දෙවන කලාපය කියවමු.


රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි.



Saturday, 11 July 2020

ෂර්ලොක් හෝම්ස් චිත්‍රකතා - රතු හිසකෙස් ඇත්තෝ Sherlock Holmes - The Red-Headed League


ශ්‍රීමත් ආතර්  කොනොන්ඩයිල්
ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන්

ෂර්ලොක් හෝම්ස් - ඔබෙත් මගෙත් ලොව පුරා පාඨක ජනතාවගේත් ආදරණීය රහස් පරීක්ෂකයා යි. ශ්‍රීමත් ආතර්  කොනොන්ඩයිල් විසින් 1887 තරම් ඈත අතීතයේ නිර්මාණය කරන ලද මෙම චරිතය තවමත් මෙතරම් පාඨක සිත් ඇද බැඳ තබාගන්නට සමත් වීම කොතරම් අපූරු හපන්කමක්දැයි කියා මට සිතෙනවා. . එම චරිතය මරණයටපත් කර කතා පෙළ අවසන් කරන්නට කොනොන්ඩයිල් මහතා වරෙක උත්සාහ කළත් පාඨක ඉල්ලීම මත නැවත එම චරිතයට පණ දෙන්නට ඔහුට සිදු වු බව ඔබ දැනටමත් දන්නවා ඇති.
ශ්‍රි ලාංකික පාඨකයාට නවකතාවකින් හමු  වන මුල්ම රහස් පරීක්ෂකයා හමුවන්නේ ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කිරීමෙන් වසර 30කට පමණ පසුයි. ඒ පියදාස සිරිසේන මහතාගේ ඩිංගිරි මැණිකා නව කතාවේ එන කෝන්ගෙදර වික්‍රමපාලයි.සීයාගේ පොත් අතර තිබී අදටත් සුරැකිව ඇති එම කතාව කුඩා කල කියැවීමෙන් එවැනි කතා කියවන්නට මගේ සිතේ දැඩි ආශාවක් ඇතිවුණා කිව්වොත් නිවැරදියි. කෙසේ වෙතත් සිංහල පාඨකයාට ෂර්ලොක් හෝම්ස් හරියට  ම මුල්වරට හමුවන්නට ඇත්තේ කේ.ජී.කරුණාතිලක සූරින්ගේ බැස්කර්විල් දඩ බල්ලා කෘතියෙන් වන්නට ඇතැයි මා සිතනවා.මා හටත් පළමු වරට හමු වූ කෘතිය එයයි.


එසේ ම සිංහල පාඨකයාට ෂර්ලොක් හෝම්ස් කතා සියල්ල ගෙන එමින්  වෛද්‍ය චන්දන මෙන්ඩිස් මහතා විසින් විශාල සේවවාක් ඉටු කරනු ලැබුවා.

පොත පත කියවන ඔබ විසින් මෙම කතා සියල්ල ම කියවා ඇති. එහෙත් එම චරිතයට ඇලුම් කරන ඔබ ඒ ආශ්‍රිත වෙනත් නිර්මාණ රසවිඳීමට තවදුටරත් කැමති බව මා දන්නවා. එබැවින් මා තීරණය කරා මගේ එකතුවේ ඇති එවැනි කතන්දර සහ චිත්‍රකතා නිර්මාණ කිහිපයක් ඔබ වෙත වරින් වර ගෙන එන්නට.

ඔබ දන්නවා මෙම කතන්දර මුල් වරට බ්‍රිතාන්‍යෙය් පළ වුණේ  ද ස්ට්‍රෑන්ඩ් (  The Strand ) නම් සඟරාවේ බව. සිඩ්නි පැජට් නම් මහත්මයෙකු එහි චිත්‍ර නිර්මාණය කර තිබුණා. 1887 නොවැම්බරයේ දී A Study in Scarlet මුල්ම කතාව එහි පළවුණා. එය පාඨකයන්ගේ සිත් ඇද බැඳගන්නට සමත් වූ නිසා කොනොඩොයිල් මහතා ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගේ සහායක වොට්සනුත් සමග දිගු ගමනක් යන්නට තීරණය කරනන්ට ඇති. ඒ අනුව ඔහු අතින් දීර්ඝ නවකතා හතරකුත් ඇතුළත් ව කතා 62ක් පමණ නිර්මාණය වෙනවා. ඒවා ලොව පුරා විවිධ සඟරා පුවත්පත්වල පළ වූවා. විවිධ චිත්‍ර ශිල්පීන් අතින් හැඩ වැඩ වුණා.

අද මා ඔබ වෙත මුලින් ම ඉදිරිපත් කරන්නේ 1991 වසරේ දී මුල් වරට   ද ස්ට්‍රෑන්ඩ් (  The Strand ) නම් සඟරාවේ පළ වූ The Red-Headed League නැතිනම් රතු හිසකෙස් ඇත්තන්ගේ සංගමය නමැති කතාවයි. එය මා හට මුල්වරට කියැවීමට ලැබුණේ පුවත්පතක් බවට පත්ව තිබී 1997 සැප්තැම්බරයේ දී සඟරාවක්  ලෙස නැවත දොරට වැඩි  නවයුගය සඟරාවෙන්. එය සංක්ෂිප්ත ලෙස පරිවර්තනය කර තිබුණේ  රංජිත් ඉලුක්පිටිය නම් මහත්මයෙකු විසිනුයි. ආතර් කොනොන්ඩයිල් මහතා පිළිබඳ විස්තරයක් ද එහි අඩංගු වෙනවා. මෙවැනි කතා කිහිපයක් ම නවයුගය , සිරිසර සහ මුතුහර යන සඟරාවල වරින් වර පළ වුණා. මේ එම කතාවේ පිටු කිහිපය.





මෙම කතාවේ පළ වු චිත්‍ර මට නැවත හමු වන්නේ Great Illustrated Classics කතා මාලාවේ එන ෂර්ලොක් හෝම්ස් කතා පොතෙනුයි. එම අලංකාර චිත්‍ර ද සමග එම ඉංග්‍රීසි කතාව ඔබට පහත සබැඳියෙන් කියැවීමට පුලුවන්.






එසේ ම එම කතාව පළ වූ  ද ස්ට්‍රෑන්ඩ් (  The Strand ) සඟරාවේ පිටු ද ඔබට පහත සබැඳියෙන් ලබා ගැනීමට හැකි වෙනවා.


එසේ ම මෙම කතාව සඳහා විවිධ චිත්‍රශිල්පීන් විසින් පුවත්පත්වලට නිර්මාණය කරන ලද චිත්‍ර කිහිපයක් ද මේ සමග ඉදිරිප ත්කරනවා.


කෙසේ නමුත් මට මෙම ලිපිය මගින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට වඩාත් ම වුවමනා වූයේ 1955 වසරේ දී බ්‍රිතාන්‍ය පුවත්පතක පළ වූ  චිත්‍රකතා පෙළක් පිළිබඳවයි. අලංකාර ලෙස නිමවා තිබූ එම චිත්‍රකතා  පෙළේ ෂර්ලොක් හෝම්ස් කතා 30 කට ආසන්න සංඛ්‍යාවක් පළ වී තිබුණා. ඉදිරියේ දී මේ ආකාරයට ම ඒ සියල්ල ඔබ වෙත ගෙන එනු ඇති.




තව ද ඔබට  චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කරන ලද මෙම කතාවේ එතරම්පැහැදිලි නොමැති පිටු කිහිපයක් කියැවීමට හැකි ආකාරයෙන් පමණක් මෙම සබැඳිය ඔස්සේ ඉදිරිපත් කර තිබෙනවා. එතුමාගේ අන්තරායකර අඩවිය පොත මිලදී ගෙන එම කතාව සම්පූර්ණයෙන් රස විඳින ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. ( කියැවීමට)

එසේ ම ඔබගේ රසවින්දනය උදෙසා මෙම කතාව සහ තවත් හෝම්ස් කතන්දර  ඇතුළත් ඉංග්‍රීසි රූපවාහිනි කතාංගමාලා කිහිපයක් ම අපගේ ටෙලිග්‍රෑම් ( TELEGRAM ) සමූහයට එකතු කිරීමට මා කටයුතු කර තිබෙනවා. ඔබ ටෙලිග්‍රෑම් ඇප් එක දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ස්ථාපනය කර ඇත්නම් ඔබට එමගින් ඒවා බාගත කර ගත හැකි වෙනවා. පරිගණකය ඒ සඳහා වඩාත් සුදුසු බවත්මතක් කරනන්ට කැමතියි. මන් ද ඒවා බාගැනීමෙන් ඔබේ ජංගම දුරකතනයේ දත්ත ගබඩාවේ ඉඩ අඩු වීමට පුලුවන් නිසා.

එකතුවන්න ටෙලිග්‍රෑම් සමූහයට


මෙම කතාව ම සහිත තවත් කුඩා ඉංග්‍රීසි පොතක් ද පහත සබැඳිය ඔස්සේ ලබාගත හැකියි.




- රවීන්ද්‍ර ප්‍රභාත් විසිනි


යාවත්කාලීන කිරීම - රසික කලාප අංක 31 සිට 40 දක්වා

රසික පුවත්පතේ පළමු කාණ්ඩයේ කලාප අංක 31 සිට 40 දක්වා එකතු කිරීමෙන් පසු පහත සබැඳිය ඔස්සේ ඔබට කලාප අංක 1 සිට 40 දක්වා රසවිඳිය හැකි වේ.
විශේෂ ස්තුතිය රෝහණ සිරිවර්ධන මහතාට....